නවතම පුවත්

නව්‍යෝත්පාද සමාජ සංවර්ධන පදනම විසින් 2023 දෙසැම්බර් මාසය තුළ දී ශ්‍රී ලංකාව තුළ ප්‍රථම BUD Forum හෙවත් නීල වර්ණ කුඩ දින සංසදය ආරම්භ කිරීම සදහා මූලිකත්වය ගන්නා ලදී. මෙම සාකච්ඡාමය වැඩසටහනේ මූලික අරමුණු වූයේ FISD ආයතනය විසින් පිරිමි ළමුන්ට එරෙහිව සිදු වන ලිංගික හිංසනය වැළැක්වීම සම්බන්ධයෙන් සකස් කරන ලද උද්දේශන සංක්ෂිප්තය නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීම සහ ළමා අයිතිවාසිකම් සම්බන්ධව ශ්‍රි ලංකාව තුළ ක්‍රියාකාරී කාර්යයක් ඉටු කරන රජයේ ආයතන, සිවිල් සමාජ සංවිධාන (CSOs), ඇතුළත් කරමින් ඔවුන් ප්‍රධාන පාර්ශ්වකරුවන් ලෙස මෙම සාකච්ඡාමය වැඩසටහන සඳහා කැඳවා ගැනීමයි.

මෙහි දී පිරිමි ළමයින්ට එරෙහි ලිංගික හිංසනයට බලපානු ලබන ශ්‍රී ලංකාවේ සෘණාත්මක සමාජ සම්මතයන් බිඳ දැමීම සහ ඒවා පවත්වාගෙන යාමේ ප්‍රතිවිපාක පිළිබඳව ගැඹුරින් සාකච්ඡාවට ලක් කරන ලදී. එමෙන්ම වාර්තා වූ අපයෝජන සිද්ධීන් පිළිබඳ සවිස්තරාත්මක සාකච්ඡාව තුළින් පිරිමි ළමුන්ට සිදු වන ලිංගික හිංසනය ඉතාමත් කණගාටුදායක ලෙස ඉහළ ගොස් ඇති බව ද අනාවරණය විය. එනම් මෙයට මූලික හේතුව ලෙස හඳුනා ගැනීමට හැකි වූයේ දරුවන්ට, විශේෂයෙන් ම දෙමව්පියන්ට සහ සේවා සපයන්නන්ට පිරිමි ළමුන්ට එරෙහි ලිංගික හිංසනය පිළිබඳ මූලික අවබෝධයක් නොමැතිකමයි.

පුරුෂාධිපත්‍යය මූලික කර ගත් සමාජයන් තුළ පිරිමි පාර්ශ්වය සඳහා ලිංගික ක්‍රියාවන් සඳහා හිමිකමක් ඇති බව වඩ වඩාත් ඒත්තු ගන්වනු ලබයි. ළමයින් කුඩා කාලයේ සිටම මෙවැනි සමාජ විශ්වාසයන් සඳහා නිරාවරණය වීම සහ එවැනි සමාජ විශ්වාසයන් සමඟ ගනුදෙනු කිරීම පිළිබඳව ද, මෙම සාකච්ඡාවේ දී වැඩි වශයෙන් ඉස්මතු විය. එබැවින්, එවැනි සමාජයක් තුළ මුල් බැස ගත් සමාජ සම්මතයන් නිසා පිරිමි ළමුන්ට සිදු වන ලිංගික හිංසනයන් ට එරෙහිව ගනු ලබන පියවර වෙනුවෙන් ලැබිය යුතු ප්‍රතිඵල නිසි ලෙස ලබා ගැනීමට බාධාවන් මතු වන බව ද සාකච්ඡාවට ලක් විය. එපමණක් නොව ලිංගික ප්‍රචණ්ඩත්වය (ලිංගික හිංසනය) හරහා පිරිමි ළමුන්ට සිදු වන දරුණු හානිය හඳුනා ගැනීම සහ ඒ වෙනුවෙන් ක්‍රියා කිරීමට වඩා එය ඔවුන්ගේ පුරුෂභාවය ඉහළ නැංවීමේ තවත් එක් මාධ්‍යයක් ලෙස යොදා ගත හැකි බවට වැරදි සමාජ මතයක් ද ඉස්මතු වී ඇත. මෙම සාකච්ඡාවේ දී එවැනි හානිකර පරමාදර්ශ බිඳ දැමීමේ අත්‍යවශ්‍යතාවය හඳුනා ගන්නා ලදී.

මේ අනුව 2023 වර්ෂයේ දී නීලවර්ණ කුඩ දින සංසදය (BUD Forum 2023) ශ්‍රී ලංකාවේ පිහිටු වීමේ මූලික අරමුණ වූයේ ලාංකේය සමාජය තුළ පිරිමි ළමයින්ගේ පරිපූර්ණ ආරක්ෂාව සහ සවිබලගැන්වීම වෙනුවෙන් සැලකිය යුතු දායකත්වයක් ලබා දීමයි. එමෙන්ම ඒ හරහා දැනුම්වත් කිරීම සඳහා පමණක් සීමා නොවී මෙහි ප්‍රායෝගික ප්‍රතිඵල ලබා ගැනීම මූලික ඉලක්කය බවට පත් විය . ඒ අනුව මෙම සාකච්ඡාමය සංවාදය තව දුරටත් පෝෂණය කිරීමට හා පිරිමි ළමුන්ට සිදු වන ලිංගික හිංසනය පිටුදැකීම වෙනුවෙන් කටයුතු කරන පාර්ශ්වකරුවන්ගේ හවුල්කාරීත්වය ලබා ගැනීමට ද වැඩ පිළිවෙලක් සකස් කරන ලදී.